POSTED ON Sunday, April 21, 2013| | Edit Post

නිවසක්‌ යනු හුදු අව් වැසි සුළංවලින් හා අනේක විධ උපද්‍රව වලින් රක්‌ෂා වීම සදහා මිනිසා විසින් නිමැවූ රක්‌ෂිත ස්‌ථානයක්‌ පමණක්‌ නොවේ. එය මානව ශිෂ්ටාචාරයේ පහළවන බරසාර සංකල්පයකි. නිවසක්‌ ඉදිකර පදිංචි වීම යනු ශිෂ්ටාචාර ගත ජීවිතයක වැදගත්ම ප්‍රමුඛ අවශ්‍යතාවක්‌ ලෙස සැලකිනි. නිවස ශිෂ්ටාචාරයක පිළිබිඹුවක්‌ සේම නිශ්චිත සංස්‌කෘතියක හා එම සංස්‌කෘතියෙන් පෝෂණය වන ජන සමූහයක විඤ්ඤාණය ප්‍රකට කරවනා දර්ශකයක්‌ වූයේය. අප විසින් අපේ ගැමි නිවස පිළිබද මේ සංවාදය උපදවන්නේ ශිෂ්ටාචාරයේ පැනෙනා ඒ ගැඹුරු අරුත් යම් පමණකට ස්‌පර්ශ කරමිනි.


ලංකාවේ විවිධ යුගයන්ට අයත් ශිෂ්ටාචාර පැවති බව පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් සොයාගෙන ඇත. බටදොඔලෙන, බෙලිලෙන ආදී ස්‌ථානයන්හි සිදුකර ඇති පර්යේෂණ මගින් ප්‍රාග් ඓතිහාසික මානවයා එම ලෙන් ආශ්‍රිතව ජීවත් වූ බව තහවුරු කොට තිබේ. නමුත් විශේෂත්වය වන්නේ ඉන් ඔබ්බට මෑත කාලය වනතුරු, එනම් වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ අපේ රටේ මිනිසුන් ජීවත් වූ බවට සැක කරන නිවසක තොරතුරු සොයා ගැනීමට විද්‍යාර්ථයින්ට අපහසු වී තිබීමය. අනුරාධපුර යුගයේ සිට රාජමාලිගා හා අනෙකුත් ආගමික ගොඩනැඟිලිවල අවශේෂයන් සොයා ගෙන ඇතත්, සාමාන්‍ය ජනතාව විසූ නිවසක්‌ හෝ භික්‌ෂූන් වහන්සේ වැඩසිටි ආරාමයක්‌ පිළිබඳ තොරතුරු වාර්තා නොවේ. අපට හමුවන්නේ මෙයින් වසර 400 කින් මෙපිට නිවාස පිළිබඳ සාධක පමණක්‌ වීම වැදගත් වේ.

අපට හමුවන පැරණි නිවාස
ප්‍රධාන වශයෙන්ම රජ මාලිගා සහ බෞද්ධ වෙහෙර විහාර ස්‌ථිර ද්‍රව්‍යයන්ගෙන් කල් පවතින ලෙස හා ශක්‌තිමත්ව ඉදිකළද බවත් සාමාන්‍ය ජනතාවගේ නිවාස හා භික්‌ෂුන්ගේ ආරාම එලෙස ශක්‌තිමත්ව ඉදිකර නොතිබූ හෙයින් ඒවායේ සාධක හමු නොවන බවත් සිතිය හැක. ඒවා පරිසරයෙන් ලබා ගත් මූලික ද්‍රව්‍යයන්ගෙන් නිර්මිත ඒවා වූ අතර, කිසිදු පරිසර හානියකින් තොරව පොළවටම පස්‌වී ගිය නිසා ද්‍රව්‍යමය සාධක හමු නොවන බව පෙනේ.

සැබවින්ම අද අපට දක්‌නට ලැබෙන සීමිත සාධක හා පැරණි නිවාස ඉදිකිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ අධ්‍යයනයේදී මේර් පිළිබඳ බොහෝ කරුණු උගත හැකිය. වර්තමානයේදි අපට හමුවන්නේ ගම්පොළ යුගයට හෝ ඉන් පසුකාලීනව ඉදිකළා යෑයි සිතෙන නිවාස හෝ එම යුගයන්ට අයත් ක්‍රමවේද හා සම්ප්‍රදායන් අනුගමනය කරමින් ඉදිකර ඇති නිවාස සහ ඒවායේ අවශේෂයන්ය.
මෙම නිවාස ද ප්‍රධාන වශයෙන් කොටස්‌ දෙකකට බෙදිය හැකි බව පෙනේ. එනම් වඩාත් කල් පවතින ද්‍රව්‍ය වලින් නිර්මිත ප්‍රභූන්ගේ හා ප්‍රධානීන්ගේ වලව් සම්ප්‍රදායට අයත් නිවාස හා සාමාන්‍ය ගැමි නිවාස ලෙසය. වලව් සම්ප්‍රදායේ පැරණි නිවාස ලංකාවේ විවිධ ප්‍රදේශවල පැතිර පවතී. මධ්‍යම, බටහිර, සබරගමුව, වයඔ, ඌව, දකුණ මෙන්ම රජරට මෙම වලව් සම්ප්‍රදායට අයත් නිවාස දක්‌නට ඇති අතර, ඒවා ඉදිකළ ප්‍රදේශය වෙනස්‌ වුව ද ඒවායේ සමාන ලක්‌ෂණ දක්‌නට ඇත.
එහෙයින් ඉදිකරන ලද ප්‍රදේශය, දේශගුණය, පරිසරය, සංස්‌කෘතිය හා සමාජ තත්ත්වය අනුව වෙනස්‌ නිර්මාණ හමුවන ගැමි නිවාස පිළිබඳව කථිකාව වැදගත් යෑයි පෙනේ.

ගැමි නිවසක වග
ගැමි නිවාස ඉදිකිරීමේදී ප්‍රධාන වශයෙන්ම පළමු වැදගත් සාධකය ලෙස සලකනුයේ නිවස ඉදිකිරීම සඳහා තෝරාගත් ස්‌ථානයයි. එනම් වඩාත් සුව පහසු එමෙන්ම ආරක්‌ෂිත ස්‌ථානයක්‌ මේ සඳහා තෝරා ගන්නා ලදී. දෙවනුව මේ ස්‌ථානය තම අනෙකුත් දෛනික කටයුතු වලට පහසුව ගෙන දෙන ස්‌ථානයක්‌ වීමය. එනම් පහසුවෙන් ජලය ලබා ගත හැකි ජල මූලාශ්‍ර ආසන්නයේ පැවතීමත්, තම වගා බිම්වලට පහසුවෙන් ළඟා විය හැකි වීමත් වැදගත් කොට සලකන ලදී.

එමෙන්ම වන සතුන්ගේ උවදුරු වලින් තොර වූ ආරක්‌ෂිත ස්‌ථානයක්‌ වීම වැදගත් විය. අද අපට මුහුණ දීමට සිදුවන අලි මිනිස්‌ ගැටුම් ආදිය සිදුවීමට ඉඩකඩ ඇති අලිමංකඩයන්හි නිවස ඉදිනොකරන්නට ගැමියෝ වග බලා ගත්හ. ඔවුන් ඒ පිළිබඳ හසල දැනුමකින් යුක්‌ත වූ අතර, වන සතුන්ද තම ස්‌වාභාවික පරිසරයේ කොටසක්‌ ලෙස සලකා ඔවුනට අවශ්‍ය ඉඩකඩ වෙන්කර දීමට ඔවුහු කටයුතු කළහ.

නිවස ඉදිකරන්නට සුදුසු ස්‌ථානය තෝරා ගත් ගැමියා තම පවුල් හෝ ගමේ පිරිස එක්‌ කර ගෙන තම නිවස ඉදිකර ගත්තේ කුලී ගෙවීමෙන් නොවේ. සම්පූර්ණයෙන්ම අත්කම් ක්‍රමය මගින් ඔහු තම අවට පරිසරයෙන් සොයා ගත් මැටි, පස්‌, ගල්, දැව දඬු, පිදුරු ඉලුක්‌මනා සහ වැල් ආදිය උපයෝගි කර ගෙන තම නිවස ඉදිකරගත්තේය. එක්‌ එක්‌ කාර්යයන් සඳහා දක්‌ෂ තම ඥාතීන් හා මිතුරෝ ඒ ඒ කාර්යයන් සඳහා උදව් කළහ. ගැමියා ද ඔවුනට සහාය වූ අතර, වැඩ කරන අතරතුර ආහාරපාන ආදියෙන් සංග්‍රහ කිරීමත්, ඔවුන්ගේ මෙවැනි කාර්යයන් සඳහා අත්කම් ක්‍රමයට සහභාගි වීමෙනුත් ඔහු තම යුතුකම ඉටු කළේය. සමහර විටෙක යම් හේතුවක්‌ මත යමෙකුගේ කාර්යයකට සහභාගි වීමට ඔහුට නොහැකි වුවද ඒවා උපේක්‌ෂාවෙන් යුතුව ඉවසීමට අන්‍යයෝ පුරුදුව සිටියහ. මෙසේ අවට පරිසරයෙන් උකහා ගත් අමු දුව්‍ය උපයෝගි කරගෙන තම නිවස ඉදිකළ ද පරිසරය හා තම සමාජයීය තත්ත්වය අනුව ඒවායේ කැපී පෙනෙන සුළු වෙනස්‌කම් දක්‌නට ඇත.

රජරට නුවර කලාවිය ප්‍රදේශයේ ඉදිකළ උස්‌ පිල සහිත නිවාස තම පවුලේ සාමාජික පවුල් වර්ධනය වන විට දීර්ඝ වීමෙන් සෑදුනි. සමාන නිවාස ක්‍රමයක්‌ වූ කුරුණෑගල ප්‍රදේශයේ නිවාසයන්හි ඉදිරියට නෙරා ආ බරාදයක්‌ දක්‌නට ලැබිණි. වයඹ පළාතේ පිටිසරට වන්නට ඉදිවූ නිවාස ගම්මැද්දක්‌ වටා ඉදි විය. නිකවැරටිය, මහ කිරින්ද හා මහගිරිල්ල ගම්මානවල මෙවැනි ගම්මැද්ද මෑතක්‌ වනතුරු පැවතුණි.
උඩරට පළාත්වල විශේෂයෙන්ම මහනුවර, දෙනුවර මාතලේ, හගුරන්කෙත හා කොත්මලේ ප්‍රදේශවල පැවතියේ හතර ඈඳපු ගෙවල්ය. හතර ඈඳපු ගෙයක්‌ යනු මැද මිදුලක්‌ වටා ගෙවල් හතරක්‌ ලෙස වහල හතරක්‌, කාණු පිළිවලින් සම්බන්ධ කර ඉදිකරන ලද නිවසයි. මෙහි බොහෝවිට ජනේල නොවූ අතර එක්‌ දොරක්‌ පමණක්‌ විය. ආලෝකය හා වාතාශ්‍රය ලබා ගත්තේ මැද මිදුලෙනි. මෙයින් නිවස තුළ උණුසුම ආරක්‌ෂා විය.

ගැමි නිවසක්‌ ඉදිකිරීමේ ප්‍රධානම සාධකයක්‌ වූයේ තම ජීවන ක්‍රමය බවත්, පාරිසරික සාධක අනුව එය සැලසුම් කරවා ගත් බව මෙයින් පෙනීයයි. වැදගත්ම ලක්‌ෂණය වූයේ කිසිදු නිවසක්‌ අනෙක්‌ නිවාස අභිබවා යන ලෙස ඉදිකරන්නට කටයුතු නොකිරීමයි. එක ප්‍රදේශයක පිහිටි නිවාස එකම ආකාරයක ඒවා වුවද අද මෙන් එක්‌ එක්‌ නිවැසියන් අතර තම නිවාසයේ හැඩය හා ප්‍රමාණය පිළිබද තරගයක්‌ නොවීම වැදගත් කරුණකි.

එක ගමක වාසය කළ සියලුම ගැමියන් එකම ජිවන වෘත්තියක යෙදුනු අතර, ඔවුන්ගේ වත්පොහොසත්කම සමාන මටටමක විය. එලෙසම සෑම අයෙකුගේම අවශ්‍යතාවන් එක හා සමාන වීය. එමෙන්ම එම අවශ්‍යතාවන් සියල්ල ඉතා සරල. ප්‍රාථමික ඒවා විය. එය ඔහුගේ නිවසින් විදහා දැක්‌වීම නිසා මෙවැනි සරල නිවසක්‌ ඉදිකිරීමට ඔහු පෙළඔනේය.

ගැමියා බොහෝ දුර දිග සිතා බලන්නෙකු වුවද නිවසක්‌ ඉදිකිරීමේදී පරම්පරා ගණනාවක්‌ කල්පැවතිය යුතු යෑයි හෝ තම දුදරුවන් හා ඔවුන්ගේ දරුවන්ට ද වාසය කළ හැකි මට්‌ටමට ශක්‌තිමත්ව තිබිය යුතු යෑයි කල්පනා නොකළේය. සියල්ලටම සරිලන ලෙස එක්‌ අයෙකුට එක්‌ කාමරයක්‌ බැගින් තිබිය යුතු යෑයිද සිතුවේ නැත. බොහෝ දරුවන් සිටියද ඔවුහු සමගිව එකට වාසය කළහ. විවාහ වී වෙන්වූ දරුවෝද ඒ ආසන්නයේම නිවසක්‌ ඉදිකර ගත්හ. දරුවන්ගේ දරුවන්ට වැඩිහිටියන්ගේ ආරක්‌ෂාව ලැබුණු හෙයින් අද මෙන් ගෘහ සේවිකාවන් හෝ දිවා සුරැකුම් මධ්‍යස්‌ථාන අවශ්‍ය නොවීය. සෑම ගැටලුවක්‌ම ඉතා සරලව විසැඳි ජීවිතය මෘදු ලෙස ගලා ගිය ආකාරය කදිමය.
බාහිරින් පැමිණෙන උපද්‍රව සඳහාද එක්‌ව මුහුණ දීමට ශක්‌තියක්‌ද මේ එක්‌ව වාසය කිරීමෙන් ලැබිණි. ගමේ පිරිමින් හේනට කුඹුරට ගිය විට නිවෙස්‌වල සිටින කාන්තාවන් හා දරුවන් මෙලෙස එක්‌ව වාසය නිසා නිරන්තරව ආරක්‌ෂා විය. ගම්මැද්ද සහිත නිවාස ක්‍රමයේදී හා හතර ඈඳපු ගෙවල්වල මේ ලක්‌ෂණය කදිමට දක්‌නට ලැබිණි.

බොහෝ නිවෙස්‌වල ගෘහ භාණ්‌ඩ ලෙස තිබී ඇත්තේ ඉතාමත් සරල භාණ්‌ඩ කීපයක්‌ පමණි. අමුත්තෙක්‌ පැමිණි විට උස්‌ පිලට පැදුරක්‌ දමා වාඩි වීමට දීම මගින් ගෘහභාණ්‌ඩ අවශ්‍යතාව සපිරුණි. ඒ හැර ඇඳක්‌, බංකුවක්‌ වැනි දෙයක්‌ මිසක වෙන යම් ගෘහ භාණ්‌ඩයක්‌ තිබූ බවක්‌ දැනගන්නට නැත. එහෙත් ගැමියා සහ ගැමිලිය තම කෘෂි උපකරණ සහ මුලුතැන්ගෙයි උපකරණ විශේෂිත ලෙස ගබඩා කර පහසුවෙන් ළඟා විය හැකි අයුරින් ගබඩා කර තිබිණි. එමෙන්ම නිරන්තරව තම නිවසද, නිවස අවටද පිරිසිදුව තබා ගත් ගැමිලිය පොළව නිතර ගොම මැටි ගා නඩත්තු කළාය. එහෙයින් අද සිමෙන්ති බදාමයෙන් ඉදිකළ නිවෙස්‌වල ද වේ හා කෘමි උවදුරු තිබුණද පැරණි ගැමි නිවස දැව දඬු, මැටි හා පිදුරු උපයෝගි කරගෙන ඉදිකළද එවැනි ගැටලුවක්‌ ඇති නොවීය.

ගොවිතැන් කර අස්‌වැන්න ගෙට ගත් පසු කමතේ ඉතිරිවන පිදුරු අසල්වාසීන්ගේ උදව්වෙන් වහලයට සෙවිලිකර ගැනීමෙන් මේ නිවස බොහෝ විට පරම්පරා කීපයක්‌ පවතින ලෙස නඩත්තු කර ගැනීමට ගැමියාට හැකිවිය.

මෙම නිවස පෙනුමෙන් ප්‍රමාණයෙන් ප්‍රසන්න බවක්‌ ගෙන දුන්නාක්‌ මෙන්ම සුවදායී බවින්ද ඉහළවිය. මැට්‌ටෙන් ඉදිකළද පිහිටි පොළවට වඩා අඩි දෙක තුනක්‌ ඉහළින් නිවසේ පොලව සකස්‌ කර ගත් හෙයින් වැසි හා ශීත කාලයට උණුසුම් බවද උෂ්ණ කාලයට සිසිල් බවද ලැබිණි. මෙහි බිම පැදුරක්‌ එලා නිදා ගැනීම ඉතා සුවදායක වූයේ එබැවිනි. දිවා කාලය තුළ වෙහෙස මහන්සි වී කුඹුරේ හේනේ වැඩ කළ ගැමියාට, ගැමිලියට සැබවින්ම සුන්දර සුවදායි විවේකයක්‌ මෙවැනි නිවසකින් ලැබිණි. ස්‌ථිර ද්‍රව්‍ය වලින් ඉදිකරන ලද නවීන නිවසක නැති සුවයක්‌, පරිසරයෙන් උකහා ගත් ද්‍රව්‍යයන් උපයෝගි කරගෙන ඉදිකළ මෙවැනි නිවසකින් ලැබිණි.

සරල ගැමි දිවි පෙවෙතේ කැඩපත බදු මේ ගැමි නිවාස අද ජීවත් වන අපට ආදර්ශයක්‌ සපයයි. අද බොහෝ අය නවීන සැලසුම් අනුව ස්‌ථිර ද්‍රව්‍ය වලින් ඉදිකරන නිවසක නැති සුන්දරත්වයක්‌, සුවපහසුවක්‌ මේ නිවසින් ලැබිණි. එමෙන්ම දහසකුත් අවශ්‍යතාවන් මුදුන්පත්කර ගැනීම සඳහා නිවස ඉදිකරන්නට අද අප පෙළඹී ඇති හෙයින් සහ තම ආදායමට නොගැළපෙන කාර්යයකට අතගැසීම නිසා අප බොහෝ දෙනා අද ජීවත් වන්නේ අඩ වශයෙන් නිමකළ නිවාසවලය.

එහෙයින් තමන්ට ගැළපෙන තම ආදායමට සරිලන තමන්ට පහසුවෙන් නඩත්තු කර ගැනීමට හැකි සුවදායි පරිසරයක්‌ හා මානසික සතුටක්‌ ලබා දෙන නිවසක්‌ ඉදිකර ගන්නට නම් අපේ පැරණි සිංහලයා තම නිවස ඉදිකර ගත් ආකාරය ගැන සිතා බැලිය යුතු කාලය එලඹ ඇත.

ප්‍රසන්න බී. රත්නායක වරලත් වාස්‌තු විද්‍යාඥ
- අධ්‍යක්‌ෂ වාස්‌තුවිද්‍යා සංරක්‌ෂණ අංශය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව
- Divaina
ads

Popular Posts

Powered by Blogger.

Blog Archive

Follow by Email

Site Status

Content
X

Total Pageviews